රයිගමයයි ගම්පලයයි
ඔන්න එකෝමත් එක කාලෙක ජීවත් වුන එක වගේම ම කපටි මිනිස්සු දෙන්නෙක්. එකෙනෙක් රයිගමයා, අනෙකා ගම්පලයා. දවසක් රයිගමයා ගමනක් යනකොට ගම්පලයව මුණ ගැහුණා. ඉතින් දෙන්නා ආගිය තොරතුරු එහෙම කතා කර කර හිටියා. එතකොට ගම්පලයා කියනවා, "යාලුවේ අපි දෙන්නා එකතු වෙලා වෙළදාමක් වත් කරමුද?" "ඒකනම් හොදයි. වත්තෙ පිටියේ තියෙන දෙයක් එකතුකරගෙන නගරෙට ගිහිල්ල විකුණමු.” රයිගමය කිව්වා. ඔන්න දැන් දෙන්නම වෙළදාමේ යන්න තීරණය කරගත්තා. "එහෙනම් හෙට හවස් වෙනකොට මෙතනදිම හම්බවෙමු. රෑ අම්බලමක ඉදලා පාන්දරම නගරෙට යමු” කියලා දෙන්නා ගෙවල් වලට යන්න පිටත් වුණා.
ගෙදර ගියපු ගම්පලයා වත්ත පහලට ගිහින් වත්ත පහල තිබුණ ගම්මිරිස් වැල් වල කොළ කඩන්න පටන් ගත්තා. ලොකු ගෝනියක් පිරෙන්න කොළ කඩාගෙන ගෝනියෙ කට හොදට බැදලා ගෙදරින් ගෙනත් තිබ්බා.
මේ අතරේ රයිගමයත් ගමේ ගොඩේ ඇවිදලා කිතුල් ඇට ඇහින්ද, ගෝනියක් පිරෙන්න කිතුල් ඇට ඇහිදගෙන ගෙදර ගෙනාවා. දැන් දෙන්නම නගරයට යන්න ලෑස්තියි.
ඔන්න හවස් වෙනකොට රයිගමයයි ගම්පලයයි ගෙවල් වලින් පිටත් වුණා නගරෙට යන්න. දෙන්න කතා වුණ විදිහටම කලින් දවසෙ මුණ ගැහුණ තැනදි හම්බවුණා. "ආ! යාලුවේ, මොනවා ද මේ බරටම උස්සගෙන?" රයිගමයා ඇහුවා. "මම මේ බුලත් ටිකක් අරගෙන ආවා විකුණාගන්න. මේවා හොද බුලත්” ගම්පලයා කිවා. "මමත් මේ පුවක් විකුණන්න කියලා ආවේ. පුවක් දැන් හරි ගණන්. හොයාගන්නත් ආමරුයිනේ. හොද ගානකට විකුණාගන්න පුළුවන්.” රයිගමයා කිව්වා.
දෙන්නම බරට බරේ අරගෝනි දෙකත් කර තියාගෙන නවතින්න තැනක් හොයාගෙන යනවා. අතරමගදි දෙන්නට අම්බලමක් හම්බවුණා. දෙන්නම අම්බලමට වෙලා මහන්සිය හින්දා නිදා ගත්තා. පහුවදා පාන්දරම නැගිට්ට ගම්පලයා බැලුව රයිගමය ඇහරලද කියලා. රයිගමයා හොදට නිදි. ගම්පලයා කළුවම රයිගමයාගේ ගෝනියත් අරගෙන අම්බලමෙන් පිටත් වුණා.
ටික වෙලාවකින් රයිගමයට ඇහරුණා. ගම්පලයා නෑ. හැබැයි ගම්පලයගේ ගෝනිය තියෙනවා. තමන්ගේ ගෝනිය නැහැ. " ගම්පලයා රැවටුණා. බුලත් ටික තියලා මගෙ කිතුල් ඇට ගෝනිය අරගෙන ගිහින්. මගේ වාසනාව” කියලා රයිගමයා හරිම සතුටින් අර ගම්පලයාගේ බුලත් ගෝනියත් කරේ තියාගෙන නගරෙට ගියා.
දැන් හොදටම එළිය වැටිලා. නගරෙට ගිය ගම්පලයා කඩේකට ගිහින් හොද පුවක් තියෙනවා ගන්නවා කියලා ඇහුවා. කඩේ මුදලාලිත් හා හොදයි බලමු කියලා කිව්වා. ගම්පලයා ගෝනිය ලිහලා පුවක් ටික බිමට හැලුවා. "හත් දෙයියනේ!” කියලා ගම්පලයා ඔළුවේ අත ගහ ගත්තා. ගෝනිය පිරෙන්න තිබුණේ කිතුල් ඇට.
රයිගමයත් බුලත් විකුණනන්න හිතාගෙන ගෝනිය ලිහලා බැලුවම තිබුණේ ගම්මිරිස් කොළ ගොඩක්. "මම ගම්පලයා රැවටුණා කියලා හිතුවට අන්තිමේදී මමත් රැවටුණා නේ" කියාල රයිගමයට කියවුණා. අන්තිමේදි දෙන්නටම දෙන්න රවට්ටන්න ගිහින් ඒ දෙන්නම රැවටුණා.
____________________________________________________________________________________
අපගේ කතා සියල්ල රසවිදීමට දැන්ම අපගේ ළමා කතා app එක downlaod කරගන්න
Download for all the devices (Include Laptops,)
ලැප්ටොප්, දුරකථන ඇතුළු සියල්ලටම
Download from Google Play
ඔබගේ දුරකතනයට Google Play වෙතින් ලබා ගැනීමට
Comments
Post a Comment