ගෙබි කරදරේ
කන්ද උඩරට රාජසිංහ රජ්ජුරුවන්ගෙ මල් උයන හරි ලස්සනයි. ඒ උයනෙ තිබුණා , මානෙල්, නෙළුම් මල්වලින් පිරුණු විලක්. විලේ ජීවත් වුණා ගෙම්බෙක්. රෑ තිස්සෙ ම ඒ ගෙම්බා තොරතෝචියක් නැතුව “බක බක” ගාලා කෑගහනවා. ගෙම්බගෙ මේ සද්දෙ හින්දා රජ්ජුරුවන්ට රෑට නින්ද යන්නේ නෑ. ගෙඹි සද්දෙ මහ කරදරයක් වුණා. ඉතින් මේ ගෙඹි කරදරේ නැති කරලා දමන්න හැම උත්සාහයක් ම ගත්තා. ඒත් බැරි වුණා කරදරේ නැති කරන්න. අන්තිමේ දී රට පුරා අණ බෙර ගහලා දැන්නුවා ඒ ගෙඹි කරදරේ නතර කරපු කෙනාට හුගක් වටිනා තෑගි බෝග දෙනවා කියලා.
මේ ආරංචිය අන්දරේ ජීවත් වුණු රුහුණු පළාතටත් පැතුරුණා. ඉතින් අන්දරේ හිතුණා, ඒ ගෙඹි කරදරේ නවත්තන්න ඔහුට පුළුවන් කියලා. එහෙම හිතාගෙන කන්ද උඩරට රජවාසල බලා පිටත් වුණා. අන්දරේ රජ්ජුරුවන් බැහැ දැකලා ආපු කාරණේ කිව්වා. “මේ වැඩේ තොපට කරන්න පුළුවන් කියලා ද හිතනෙ?" රජ්ජුරුවො ඇහුවා. “එහෙමයි දේවයන්වහන්ස, මට පුළුවනි,” අන්දරේ හුගක් යටහත් පහත් ව, ගරුසරු ඇති ව කිවා. "මේ වැඩේ කරන්න තොපට ඕනෑ කරන මොනවා ද?" රජ්ජුරුවො ඇහුවා. “දේවයන් වහන්ස, මට හොඳ දුන්නකුයි, ඊතලයි ලබා දෙන්න," අන්දරේ කිව්වා.
රජ්ජුරුවෝ රාජපුරුෂයන්ට අණ කළා අද ඕනෑ දේවල් ලබා දෙන්ට.ඉතින් ඉර බැහැගෙන යන වෙලේ දුනයි, ඊතලයි අරගෙන අන්දරේ හෙමින් සැරේ ගියා විල ළඟට. හොඳට “හරි-බරි” ගැහිලා ලක ලෑස්ති වෙලා හිටියා. එදත් කළුවර වැටීගෙන එද්දි ගෙම්බා පුරුදු විදියට “බක, බක" ගාලා කෑගහන්න පටන් ගත්තා. අන්දරේ කලබල වුණේ නෑ. හුගක් සෝදිසියෙන් ගෙම්බගෙ කෑගැහිල්ලට කන් දීගෙන හිටියා. සෑහෙන වෙලාවක් ඒ “බක බක" සද්දෙට කන් දීගෙන ඉඳලා, සද්දෙ එන්නෙ හරියට ම කොතැනින් ද කියලා තේරුම් ගත්තා. හැබැයි ඇහැට පෙනිලා නෙමේ - කළුවරේ න්නේ !
අන්දරේ හෙමිහිට දුන්න අතට අරන් ඊතලයකුත් දුන්නට තියලා සද්දෙ එන තැනට හොඳට කුරුමාණම් අල්ලලා විදා. ඒ ඊතලය හරියට ම ඉලක්ක කරපු ගෙම්බාට වැදුණා.එක පාරට ම ගෙම්බාගෙ “බක - බක” සද්දෙ නැවතුණා. කිසි ම සද්දයක් වත් ඇහෙන්න නෑ.
ගෙඹි කරදරේ හින්දා නින්ද නැතුව සිරි යහන්නේ ඒ අත මේ අත හැරෙමින් හිටිය රජ්ජුරුවන්ට තේරුණා ඇති වුණු වෙනස. කෝ ! ගෙඹි සද්දෙ නෑ. වෙන කිසි ම සද්දයක් වත් නෑ. රජ්ජුරුවගෙ හිතට ඇති වුණේ ලොකු සතුටක්. ඒ සතෝසෙට රජ්ජුරුවන්ට හොඳට ම නින්ද ගියා.
පහුව දා රජ්ජුරුවන් නැගිට හරි ම සනීපයක් ඇතිව. රාජ සභාවට එතුමා ගියේ හරි සතුටින්. මුලින් ම එතුමා අන්දරේ කැඳෙව්වා. “තොප ගෙම්බට විදෙ කොහොම ද?" රජ්ජුරුවො ඇහුවා. “දේවයන් වහන්ස, පළමුවෙන් ගෙම්බා කෑගහන සද්දෙට මම හොඳට කන් දුන්නා. පස්සෙ සද්දෙ එන තැන හරියට ම මෙතැනයි කියලා හිතා ගෙන එතැනට හොඳට කුරුමාණම අල්ලලා ඊතලේ විද්දා. ඒ පාරින් ම ගෙම්බා මැරුණා,” අන්දරේ විස්තර කළා. රජ්ජුරුවන් බොහෝ සතුටු වී අන්දරේට තෑගි බෝග ලබා දී “සද්ද විද්ද පළඟ පතිරණ” ලෙස ගරු නම්බු නාමයක් ද ලබා දුන්නා.
_____________________________________________________________________
මෙවැනි තවත් කතා රසවිදීමට අපගේ "Lama Katha" ඇප් එක දැන්ම download කරගන්න
Download for all the devices (Include Laptops,)
ලැප්ටොප්, දුරකථන ඇතුළු සියල්ලටම
https://myappmaker.io/Lama__katha/
Download from Google Play
Google Play වෙතින් ලබා ගැනීමට
https://play.google.com/store/apps/details?id=io.ionic.prog5e8abd4cb375235113d3b37d
Comments
Post a Comment